නාලන්දා විදු බිමට අලුත් පොඩිත්තන් එක් වේ!

Published On: January 18, 2019Views: 2730 Comments

නාලන්දා විද්‍යාලයට 1 ශ්‍රේණිය සඳහා තේරී පත් වූ නවක සිසුන් පිළිගැනීමේ උත්සවය පසුගිය 17 වැනිදා “නාලන්දා තරු පොකුරට එක්වන්න 1 ශ්‍රේණියට පැමිණි පුතුන් පිළිගනිමු ආදරෙන්…” යන මැයෙන් විද්‍යාලයීය පරිශ්‍රයේ දී පැවැත්විණ. අයදුම්කරුවන් රාශියක් අතුරින් මෙවර නාලන්දා විදු බිමට එක් වන්නට මෙවර හැකියාව ලැබුනේ 200 කට ආසන්න ප්‍රමාණයකට පමණි. ජාතික ගීය සහ පාසල් ගීය ගායනා කිරීම කිරීමෙන් අනතුරුව නාලන්දා විද්‍යාලයීය ධර්මාචාර්ය ස්වාමීන් වහන්සේලා විසින් පිරිස තිසරණ සහිත පංචශීලයේ පිහිටුවා කෙටි අනුශාසනාවක් පවත්වන ලද අතරම නාලන්දාවට එක් වූ නව පොඩිත්තන්ට සෙත් පතමින් සෙත් පිරිත් දේශනයක් ද පවත්වන ලදහ. අනතුරුව රට දැය වෙනුවෙන් දිවි පිදූ රණවිරුවන් සහ ආදි කතෘන් සිහිපත් කරමින් මිනිත්තුවක නිහඬතාවයක් පවත්වා උපහාර දක්වන ලදී. ඉන්පසුව මේ පොඩිත්තන් පිළිගනිමින් 2-D පන්තියේ සොයුරන් විසින් පිළිගැනීමේ ගීතය ගායනා කරන ලද අතර මෙය නාලන්දා විද්‍යාලයීය පෙරදිග සංගීත වාද්‍ය වෘන්දය විසින් සංගීතවත් කරන ලදී. මෙහි තනු නිර්මාණය සහ සංගීත නිර්මාණය නාලන්දා විද්‍යාලයීය සංගීත ආචාර්ය ජයන්ත දිසානායක ගුරු පියාණන් සිදු කරන ලද අතර ගීතය පුහුණු කිරීම නාලන්දා විද්‍යාලයීය සංගීත ආචාරිණී දමයන්ති ගුරු මෑණියන් සහ නාලන්දා විද්‍යාලයීය සංගීත ආචාරිණී දුලීකා වික්‍රමසිංහ ගුරු මෑණියන් විසින් සිදු කරන ලදී. අනතුරුව රැස් ව සිටි පිරිස පිළිගනිමින්  2-C පන්තියේ ඊ.එම්.දිල්මින් බණ්ඩාර සොයුරා සිංහල භාෂාවෙන් ද, එම පන්තියේම තෙවන් පතිනායක සොයුරා ඉංග්‍රීසි භාෂාවෙන් ද සහ  2-B පන්තියේ චනුල දිනුලක විජේරත්න සොයුරා දෙමළ භාෂාවෙන් ද පිළිගැනීමේ කතාව ඉදිරිපත් කරන ලදී. අනතුරුව ගරු විදුහල්පතිතුමන් රැස්ව සිටි පිරිස ආමන්ත්‍රණය කරමින් නාලන්දාවට ඇතුලත් වීමට වරම් ලැබීමට ඇති තරඟකාරිත්වය සහ මේ පොඩිත්තන් ඒ භාග්‍ය ලබා ගැනීමට සමත් වී ඇති බව සඳහන් කරන ලදී. අනතුරුව ශිල්පයට අධිපති සරස්වතී දේවිය නමදිමින් පූජා නර්ථනය 2 ශ්‍රේණියේ සොයුරන් විසින් ඉදිරිපත් කරන ලද අතර එය නාලන්දා විද්‍යාලයීය නර්ථන ආචාරිණී අමිලා ජීවනී ගුරු මෑණියන් විසින් පුරුදු පුහුණු කරන ලදී. අනතුරුව නාලන්දා විද්‍යාලයීය නර්ථන ආචාරිණී ගංගා මෙන්ඩිස් ගුරු මෑණියන් විසින් පුහුණු කළ 2-B පන්තියේ සොයුරන් විසින් කවුරුද කවුරුද දැන් ලොක්කෝ ගීතයට නර්ථනයක් ඉදිරිපත් කරන ලදී. ඉන්පසු NEET(Nalanda English Education Trust) ව්‍යාපෘතිය යටතේ නාලන්දාවට එක් වූ නෙරංජලා කරුණාරත්න ගුරු මෑණියන් විසින් පුහුණු කළ 2-A පන්තියේ සිසුන් විසින් ඉංග්‍රීසි ගීතයකට නර්ථනයක් ඉදිරිපත් කරන ලද අතර නාලන්දා නර්ථන ආචාරිණී අමිලා ජීවනී ගුරු මෑණියන් විසින් පුහුණු කළ 2-E පන්තියේ සිසුන් ඉරු දෙවියන්ගේ නෑයෝ ගීතයට නර්ථනයක් ඉදිරිපත් කරන ලදී. අනතුරුව නාලන්දා නර්ථන ආචාරිණී පද්මා අයිරාංගනී ගුරු මෑණියන් විසින් පුහුණු කළ 2-C පන්තියේ සිසුන් විසින් පැරණි නාඩගම් සම්ප්‍රදායේ පුර්ව රංගයක් සේ සැලකෙන බහු බූත කෝලම් ආශ්‍රිත නිර්මාණාත්මක රංගනයක් ඉදිරිපත් කරන ලදී. අවසාන වශයෙන් නාලන්දා විද්‍යාලයීය ප්‍රාථමික අංශයේ සහකාර විදුහල්පති ජගත් අමරසිංහ මැතිතුමන් විසින් ස්තූති කතාව පවත්වන ලද අතර එහිදී මේ සඳහා කැපවූ සියලු දෙන හට ස්තූති පූර්වක ආමන්ත්‍රණයක් සිදු කළ අතරම මේ වැඩසටහන සංවිධානයට දායකත්වය දැක්වූ කනිෂ්ඨ ආදි ශිෂ්‍ය සංගමයේ සංවිධායක අංජන ප්‍රභාත් මහතාට විශේෂ ස්තූතියක් පළ කරන ලදී. අනතුරව නාලන්දාවට සපැමිණි මේ පොඩිත්තන් නාලන්දාවට තමන්ගේ ආගමනය සනිටුහන් කරමින් නාලන්දා ගුවන් ගැබට බැලුම් බෝලයක් පාකර හරින ලද අතර නාලන්දා විද්‍යාලයීය ප්‍රාථමික අපරදිග තූර්යවාදක ඛණ්ඩය විසින් ඔවුන්ව පන්තිකාමර කරා කැටුව යන ලදී. නාලන්දා විද්‍යාලයීය ගරු විදුහල්පතිතුමන්, නියෝජ්‍ය විදුහල්පතිවරුන්, සහකාර විදුහල්පතිවරුන්, ප්‍රාථමික අංශ ප්‍රධානී ගාමිණී ප්‍රනාන්දු ගුරු පියාණන් ඇතුළු නාලන්දා විද්‍යාලයේ 1 හා 2 ශ්‍රේණිවල ආචාර්ය මණ්ඩලය පාසල් සංවර්ධන සමිතියේ ලේකම්තුමන්, ආදි ශිෂ්‍ය සංගම් නියෝජිතයින්, සිසුන් සහ දෙමාපියන් ඇතුළු විශාල පිරිසක් මේ සඳහා එක් විය.

 

 

https://www.facebook.com/media/set/?set=a.2516984805039922&type=1&l=34d8c6df63

Share This News, Choose Your Platform!

Leave A Comment

Recent Posts