නිල් ඉඳුවර 2019

Published On: October 3, 2019Views: 2890 Comments

නාලන්දා විද්‍යාලයීය සාහිත්‍ය හා කලා සංගමයේ “නිල් ඉඳුවර 2019” කලා මංගල්‍යය අති උත්කර්ෂවත් අන්දමින් විද්‍යාලයීය මලලසේකර රඟහල් පරිශ්‍රයේදී අද දින (ඔක්තෝම්බර් මස 03 වැනිදා) පැවැත්විණි. කලක් තිස්සේ ඇණ හිට තිබූ නිල් ඉඳුවර, නාලන්දා විද්‍යාලයීය කලා මංගල්‍යය මෙලෙසින් දියත් වූයේ වසර ගණනාවකට පසුව වන අතර මෙවර නිල් ඉඳුවර කලා මංගල්‍යය සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සම්මානනීය මහාචාර්ය ජේ.බී.දිසානායක මැතිදුන් සහභාගී වූ අතර විශේෂ ආරාධිත අමුත්තා වශයෙන් ප්‍රවීණ සිනමා නිර්මාණකරුවෙකු වන ජයන්ත චන්ද්‍රසිරි මැතිදුන් සහභාගී විය. “දේශාභිමානය” තේමා කරගත් මෙවර නිල් ඉඳුවර කලා මංගල්‍යය, අතීත ශ්‍රී ලාංකික විරුවන්ගේ දස්කම්, විස්කම් සහ පරාක්‍රමයන් වත්මන් පරපුරට විදහා දක්වන විශේෂාංග රාශියකින් සමන්විත විය. අතීතයේ සිදුවූ සුවිශේෂී සිදුවීම් සහ සුවිශේෂී චරිත තුළින් මෙන්ම නූතන කලාව, සාහිත්‍ය සහ සිනමාව තුළින් දේශාභිමානය විදහා දැක්වෙන අයුරු මෙහිදී රැස්ව සිටි පිරිසගේ අවධානයට ලක් කරන ලදී. නාලන්දා විද්‍යාලයීය පෙරදිග වාද්‍ය වෘන්දයේ වාදනය මධ්‍යයේ නාලන්දා විද්‍යාලයීය පෙරදිග සංගීත ගායක කණ්ඩායම මෙන්ම ආරාධිත පාසල්වල සහෝදරයින් ද තම දක්ෂතා මලලසේකර වේදිකාව මත ප්‍රදර්ශනය කළ අතර දේශාභිමානය විදහා දක්වන නාට්‍ය දර්ශන රාශියක් ද විද්‍යාලයීය නාට්‍ය කණ්ඩායමේ සිසුන් සහ නර්තන අංශයේ සිසුන් විසින් ඉදිරිපත් කරන ලදී. තවද මෙහිදී නිල් ඉඳුවර කලා මංගල්‍යයට සමගාමීව විද්‍යාලය තුළ සහ අන්තර් පාඨශාලීය මට්ටමින් පැවති තරඟ වලින් ජයග්‍රහණය ලැබූ සිසු සිසුවියන්ට සහතික පත් ප්‍රදානය කිරීම ප්‍රධාන ආරාධිත අමුත්තා හා විශේෂ ආරාධිත අමුත්තා අතින් සිදුවිය. ගරු විදුහල්පතිතුමන්, නියෝජ්‍ය විදුහල්පතිවරුන්, සහකාර විදුහල්පතිවරුන්, කලා අංශයේ ගුරු භවතුන් ඇතුළු ආචාර්ය මණ්ඩලයේ ගුරු මෑණිවරුන් සහ ගුරු පියවරුන්, ආරාධිත පාසල්වල ගුරු භවතුන්, ආරාධිත පාසල්වල සිසු සිසුවියන්, විද්‍යාලයීය සිසුන්, ආදි ශිෂ්‍ය සංගම් නියෝජිතයන් සහ සාමාජිකයින්, මාධ්‍යවේදීන් සහ දෙමාපියන් ඇතුළු විශාල පිරිසක් මේ සඳහා සහභාගී වූහ.

Share This News, Choose Your Platform!

Leave A Comment

Recent Posts