දේශයේ ස්වෛරීභාවය උදෙසා දිවිපිදූ අමරණීය රණවිරුවන්ට නාලන්දාවේ උත්තමාචාරය!

අප අද නිදහසේ හුස්ම ගන්නා මේ පින්බිමේ සැබෑ හිමිකරුවන් වන්නේ අන් කිසිවෙකුත් නොව, තමන්ගේ හෙට දවස වෙනුවට දැයේ හෙට දවස තෝරාගත් අපේම වීරෝදාර රණවිරුවන්ය. මව්බිමේ භෞමික අඛණ්ඩතාව සහ ස්වෛරීභාවය සුරක්ෂිත කිරීම වෙනුවෙන් ඔවුන් කළ ඒ අසමසම කැපවීම හුදෙක් වචනයෙන් විස්තර කළ නොහැක්කකි.
උණ්ඩයට, බෝම්බයට නොබියව මුහුණ දෙමින්, ලේ කඳුළු දහඩිය වගුරුවමින් ඔවුන් එදා ගෙවා දැමූ කටුක අතීතය, අද අපගේ මේ සාමකාමී වර්තමානය බවට පත්ව ඇත. තමන්ගේ පවුල, දූ දරුවන් සහ මව්පියන් පසෙක ලා, සමස්ත ශ්‍රී ලාංකිකයන්ගේම ආරක්ෂාව වෙනුවෙන් උත්තරීතර ජීවිත පරිත්‍යාගය කළ ඒ රණවිරුවන්ගේ නාමය අපගේ ඉතිහාසයේ රන් අකුරින් ලියැවී අවසන්ය.
දෑ රැකි රණවිරුවන්ගේ ඒ ශ්‍රේෂ්ඨ පරිත්‍යාගය අතීතයට පමණක් සීමා වූ මතකයක් නොවිය යුතුය. එය වර්තමාන පරම්පරාවටත්, අනාගත පරම්පරාවටත් දේශප්‍රේමය සහ ජාතික ආලය කියා දෙන ජීවමාන පාඩමකි. ඔවුන් සිය ජීවිතයෙන් වන්දි ගෙවා රැක දුන් මේ නිදහස් භූමිය තවදුරටත් සුරක්ෂිතව අනාගතය කරා ගෙන යාම අප සැමගේම පරම යුතුකම සහ වගකීම වෙයි.
එදා අප වෙනුවෙන් තම ලේ, මස්, ඇට, මිදුළු දන් දුන්, දේශයේ ස්වෛරීභාවය උදෙසා උත්තරීතර ජීවිත පරිත්‍යාගයෙන් මව්බිම සුරැකි ඒ අභීත රණවිරුවනි, ඔබේ නාමය සදා අමරණීයයි!
ජාතියේ මුරදේවතාවුන් බඳු වූ ඔබට, නාලන්දා විද්‍යාලයීය ජනසන්නිවේදන ඒකකයේ ගෞරවනීය උත්තමාචාරය මෙලෙස පුද කර සිටිමු!
#NCCUStudios
#40YearsOfImperium
#WarMemorialDay
#NalandaCollege
