නාලන්දාවට නව සඟරාවක්…

Published On: September 28, 2018Views: 2610 Comments

දශක 90 කට අධික ඉතිහාසයකට උරුමකම් කියන නාලන්දා විද්‍යාලය දිවයිනේ විවිධ ක්ෂේත්‍ර ගණනාවක ම විශිෂ්ටයින් බිහි කිරීමට සමත් විය. ක්‍රීඩා ක්ෂේත්‍රයේ මෙන්ම අධ්‍යාපන ක්ෂේත්‍රයේ ද, විශිෂ්ටයින් බිහි කරනවා සේ ම මාධ්‍ය ක්ෂේත්‍රය අතික්‍රමණය කරන්නට සමත් වූ දක්ෂ නාලන්දීයන් පිරිසක් බිහි කරන්නට නාලන්දා මව සමත් විය. මේ මග යන්නට නාලන්දීයන්ට මහෝපකාරී වූයේ එවකට නාලන්දාව තුළ ක්‍රියාත්මක වූ පුවත්පත යි. කලක් තිස්සේ දොරගුළු ලා තිබූ එකී මාර්ගය නැවත විවෘත කරමින් නාලන්දා විද්‍යාලයීය ජනසන්නිවේදන ඒකකය මඟින් එකී පුවත්පත, “නාලන්දා” සඟරාව ලෙසින් නැවත අරඹන ලදී.

අතීතය

නාලන්දා විද්‍යාලයීය සිසුන්ගේ නිර්මාණශීලි සැඟවුණු හැකියාවන් ලෝකය හමුවට ගෙන එනු පිණිස ප්‍රකාශයට පත් කරන්නට යෙදුණ “නාලන්දා” ද්විමාසික සඟරාව, නාලන්දා ඉතිහාසය තුළ ප්‍රථම වරට ප්‍රකාශයට පත් කරන්නට යෙදුණ පුවත් පත ලෙස සැලකිය හැක. නාලන්දීයන්ගේ ලේඛන හැකියාවන් වර්ධනය කරමින් වසර ගණනාවක් ප්‍රකාශයට පත් කරන්නට යෙදුණ එකී පුවත් පත 1978 එහි අවසන් කලාපය නිකුත් කිරීමෙන් අනතුරු ව ප්‍රකාශයට පත් කිරීම නැවතුණි. කෙසේ වෙතත් නැවතත් එම පුවත්පත එඩ්වඩ් රණසිංහ විදුහල්පතිතුමන්ගේ පරිපාලන කාලයේ දී නැවත ප්‍රකාශයට පත් කිරීම ආරම්භ විය. 1998 මැයි හා ජුනි යන දෙමස පුරාවට නාලන්දාව තුළ සිදු වූ දෑ පිළිබඳ තොරතුරු රැගත් මෙකී පුවත්පත නැවතත් ආරම්භ කිරීමෙන් නාලන්දාව තුළ සැඟවුණු දක්ෂ ලේඛකයින් නැවත කරලියට ගෙන ඒමට හැකි විය. “විමර්ශනාත්මක මනසකින් යුතු මාධ්‍යවේදීන් බිහි වේවා” යන විදුහල්පතිතුමාගේ පැතුම සමඟ ඇරඹුණු මෙකී සඟරාවේ ප්‍රධාන අනුශාසක ලෙසින් එවකට විදුහල්පති ධූරය හෙබවූ එඩ්වඩ් රණසිංහ මහතා කටයුතු කළ අතර අනුශාසක ලෙසින් ගරු කරවිට සුජාත හිමියෝ කටයුතු කළහ. සංස්කාරක මණ්ඩලයේ අනෙකුත් තනතුරු අතර ළබැඳි සහය ලෙසින් ලසිත මලලසේකර කටයුතු කළ අතර ප්‍රධාන සංස්කාරක ලෙස කෞශල්‍ය කුමාරසිංහ මෙන් ම නියෝජ්‍ය සංස්කාරකවරුන් ලෙස චමින්ද විද්‍යාරත්න සහ අනුරාධ තිලකරත්න කටයුතු කළහ. සහය සංස්කාරකවරු ලෙස පමිඳු රංගන ගුරුගේ සහ සුරත් සංජය කුමාර කටයුතු කළ අතර විශේෂ සහය ලෙස චාමර ගුරුගේ කටයුතු කළහ. මෙකී සංස්කාරක මණ්ඩලයේ සහභාගීත්වයෙන් ප්‍රකාශයට පත් කරන ලද මේ පුවත් පත විද්‍යා, කලා මෙන් ම සිසුන්ගේ දැනුම වර්ධනය කරන
සෑම ක්ෂේත්‍රයක් ම ආවරණය වන පරිදි සැකසුණු අතර එදා එය රුපියල් දහයක මුදලකට විකුණන ලදී. වෙනත් පාසල්වල සිසු සිසුවියන්ට ද මෙකී පුවත්පතට ලිපි ලබාදීමට අවස්ථාව හිමි වීම තුළින් අනෙක් පාසල් අතර ද මෙම “නාලන්දා” පුවත්පත ජනප්‍රිය වීමට හේතු විය. නාලන්දීයන්ගේ නිර්මාණාත්මක සිතුවිලි ප්‍රදර්ශනයට
හොඳ ම ඉඩ අවකාශය සැලසුණේ මෙකී පුවත්පතේ තිබූ කැමරාවක සිතුවිල්ල සහ මියුරු පද රටා යන විශේෂාංගවලිනි. තවද මෙහි වූ සංවාද යාත්‍රා යන විශේෂාංගය නාලන්දීයන්ට වෘත්තීය මාධ්‍යවේදීන්ගේ භූමිකාව හදාරන්නට අවකාශය සැලසූ අතර ම නාලන්දාවෙන් බිහි වූ විශිෂ්ටයින්ගේ ජිවිත කථාව හදාරන්නට නාලන්දීයන්ට ඉන් ඉඩහසර ලැබුණි. කෙසේ වෙතත් මෙකී පුවත්පතේ ඇනහිටීම නැවතත් නාලන්දා ලේඛකයින්ගේ දෑත්වලට විලංගු දැමීමක් විය. නැවත වතාවක් නාලන්දාව තුළ පුවත්පතක් පිළිබඳ අදහසක් ඇති වන්නේ නාලන්දා මාධ්‍ය ඒකකය විසින් ප්‍රකාශයට පත් කරන ලද “ලිව්සැරිය” පුවත්පතේ මංගල කලාපය නිකුත් වීමත් සමඟ ය. 2012 වර්ෂයේ ඔක්තෝම්බර් මස ප්‍රකාශයට පත් කිරීමට පටන් ගත් ත්‍රෛමාසික පුවත් සඟරාව එවකට විදුහල්පති ජේ.එච්.එම්.ඩබ්ලිව්.රංජිත් ජයසුන්දර මැතිතුමාගේ උපදේශනය, අධීක්ෂණය හා මෙහෙයුම යටතේ සිදුවිය. මෙකී පුවත්පතේ සංවිධානය එවකට නියෝජ්‍ය විදුහල්පති බී.එම්.එච්.ඒ.බණ්ඩාර මැතිතුමා සහ සරත් ගුණතිලක මැතිතුමා විසින් සිදු කළ අතර සම්බන්ධීකරණ කමිටුවේ සාමාජිකයින් ලෙසින් ලක්ෂ්මන් අමරසූරිය, ආර්.එම්.එස්.රත්නායක, එස්.ඩැනී, නිර්මලා චාන්දනී, බී.එස්.ලොකුතොටහේවා යන ගුරු පියවරුන් හා මෑණිවරුන් සහ අෂේන් තාරක, බුද්ධික ලක්ෂාන් යන සිසුන් විසින් කටයුතු කරන ලදී. හුදෙක් නාලන්දා විද්‍යාලයීය සිසුන්ගේ ජයග්‍රහණ සහ විද්‍යාලයීය සංවර්ධන පුවත් රැගත් මෙම පුවත් පත මංගල කලාපයෙන් පසුව නැවත පළ නොවීම නැවතත් විවෘත වූ දොරටු, අගුළු දැමීමක් විය.

නාලන්දා සඟරාව

දිගින් දිගට ම විවිධ බාධක මැද නැවතුණු “නාලන්දා” පුවත්පත නැවත ආරම්භ කිරීමට නාලන්දා විද්‍යාලයීය ජනසන්නිවේදන ඒකකය කටයුතු කළේ වසා දැමූ එකී මග නැවත විවර කරමින් නාලන්දා විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුන්ට සිය ලේඛන හැකියාවන් වැඩි දියුණු කර ගන්නට මාර්ගයක් ලබා දීමට යි. මෙවර වඩා හොඳ පදනමක් ද සහිත ව ඇරඹුණු “නාලන්දා” පුවත්පත, සඟරාවක් ලෙසින් දියත් කරන්නට ජනසන්නිවේදන
ඒකකය කටයුතු කළේ සිසුනට සිය හැකියා එළි දක්වන්නට වැඩි අවකාශයක් ලබාදීමේ අටියෙනි. මෙවර පැති 32 ක් පුරාවට නාලන්දාව පිළිබඳ නොයෙකුත් තොරතුරු ද, නාලන්දීයන්ගේ ජයග්‍රහණ ද, නාලන්දීයන්ගේ ලේඛන දක්ෂතා ද, ලෝකයේ නොයෙකුත් නැවුම් තොරතුරු ද ඇතුළත් කිරීමට නාලන්දා විද්‍යාලයීය ජනසන්නිවේදන ඒකකය කටයුතු කර ඇත. විශේෂයෙන්ම මෙම සඟරාව පිළිබඳ සිහිපත් කරන විට, මෙහි ප්‍රධාන අනුශාසක ධූරය හොබවන නාලන්දා විද්‍යාලයීය මහා සංඝ රත්නයට ජනසන්නිවේදන ඒකකයේ පාද නමස්කාර පූර්වක ස්තූතිය හිමි වන අතර මෙම සඟරාව සාර්ථක කරගන්නට ගරු විදුහල්පති තිලක් වත්තුහේවා මැතිතුමන් ලබා දුන් සහයෝගය  මෙන් ම උපදේශනයට ද නාලන්දා විද්‍යාලයීය ජනසන්නිවේදන ඒකකයේ ස්තූතිය පළ කළ යුතුය. තව ද මෙම ව්‍යාපෘතිය ආරම්භ කළ දා පටන් අඩුපාඩු පෙන්වා දෙමින් නිරතුරු ව සහයෝගයෙන් කටයුතු කරන නියෝජ්‍ය
විදුහල්පතිනි මහේෂිකා විජේරත්න, නියෝජ්‍ය විදුහල්පති ඩබලිව්.ඩී.අයි.උපමාල් හා නියෝජ්‍ය විදුහල්පති අජිත් වික්‍රම යන මැති මැතිනියන්ට විශේෂ ස්තුතියක් හිමි විය යුතුය. තව ද ජනසන්නිවේදන ඒකකය භාර අශෝක ධර්මදාස ගුරු පියාණන්ට ද, සෝදුපත් බැලීමෙන් හා සංස්කරණ කාර්යයෙන් සහය දුන් ජනසන්නිවේදන ඒකකය භාර වාසනා පයාගල ගුරු මෑණියන්ට හා අයෝමි කන්දෙගෙදර ගුරු මෑණියන්ට ද විශේෂ ස්තූතියක් හිමි විය යුතු ය. තව ද පැරණි “නාලන්දා” පුවත්පත් පිළිබඳ තොරතුරු මෙන් ම විද්‍යාලය පිළිබඳ වටිනා තොරතුරු රැසක් ලබා දෙමින් මීට වසර ගණනාවකට පෙර “නාලන්දා” පුවත්පතේ පළ වූ නාලන්දා පුරාණය ලිපි පෙළ නව නාලන්දා සඟරාවට රචනා කරන නාලන්දා විද්‍යාලයීය කෞතුකාගාරය භාරකරු වශයෙන් කටයුතු කරන ආදී නාලන්දීය ඩෝල්ටන් වක්වැල්ල මහතාට ද නාලන්දා විද්‍යාලයීය ජනසන්නිවේදන ඒකකයේ කෘතවේදී ස්තූතිය පළ කර සිටී.
මෙවර වඩා හොඳ සැකැස්මකින් යුතුව දියත් වන “නාලන්දා” සඟරාව කියවන පාඨක නාලන්දීයන්ටත් ගුරුවරුන්ටත් ආදී නාලන්දීයන්ටත් තමන් විසින් ලියන ලද ලිපි “නාලන්දා” සඟරාවේ පළ කරවා ගැනීමට අවශ්‍ය නම්, එම ලිපි නාලන්දා විද්‍යාලයීය ජනසන්නිවේදන ඒකකයට ගෙනවිත් භාර දීම සිදු කළ හැකි ය. තව ද මෙම සඟරාව පිළිබඳ අදහස්, යෝජනා හා චෝදනා ඇත්නම් ඒවා නාලන්දා විද්‍යාලයීය ජනසන්නිවේදන ඒකකයට
ලිඛිත ව ගෙනවිත් භාර දිය හැකි ය. එසේ නොමැති නම් ඒවා අපගේ විද්‍යුත් තැපැල් ලිපිනයට යොමු කළ හැක. මෙකී සියලූ කාරණා තුළින් නාලන්දා විද්‍යාලයීය ජනසන්නිවේදන ඒකකයේ පැතුම නම් මෙම සඟරාව අඛණ්ඩ ව ඉදිරියටත් පවත්වාගෙන යාම යි.

-සංස්කාරක මණ්ඩලය

Share This News, Choose Your Platform!

Leave A Comment

Recent Posts